අපගේ දැක්ම
ජනතාවට ආදරය කරන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත්වීම
අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගිත්වයෙන්යුත් කාර්යක්ෂම, තිරසාර හා සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජනදිවිය නංවාලීම.
හැදින්වීම
වයඹ පළාතේ, පුත්තලම දිස්ත්‍රික්කයේ බටහිර වෙරළ තීරයේ උතුරින් ලුණු ඔය ඇළ මාර්ගයෙන්ද (මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය), නැගෙනහිරින් රට මැද බෙදුම් මාර්ගයෙන්ද (බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය), බටහිරින් මහා සාගරයෙන්ද, දකුණින් මාරවිල ගැරෙජ් පාර මායිම් සීමාවෙන්ද (නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය), වට වූ හෙක්ටයාර් 7360 ක භූමි ප්‍රමාණයක් වූ මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ග්‍රාම නිලධාරි වසම් 47 කින් සමන්විත වේ.
පුත්තලම දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අතරින් ඉතා සුන්දර වෙරළ තීරයකට හිම්කම් කියනු ලබන මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සංචාරක ආකර්ශණය අතින්ද ඉතා වැදගත් ස්ථානයක් උරුම කර ගෙන ඇත. සුන්දර වෙරළ තීරය මෙන්ම පවතින ස්වාභාවික අලංකාර පරිසරය සහ ඓතිහාසික ස්ථාන නිසාවෙන් සංචාරකයින් නොමඳ ගැවෙසෙන ප්‍රදේශයක් බවට පත්ව ඇත. මේනිසාවෙන්ම වෙරළ තීරය ආශ්‍රිතව ඉතා අලංකාර සංචාරක හෝටල් පද්ධතියක් ගොඩනැගී ඇති අතර, දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේ සංචාරක නැවතුම්පළක් බවට මෙම ප්‍රදේශය පත්ව ඇත.
පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 59-60 අතර, මහවැව වැව ආසන්නයේම මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ස්ථානගත වූයේ 1990.03.14 දිනයේදීය. ඊට පෙර මෙම කොට්ඨාශයට අදාළ රාජකාරී කටයුතු සිදු කරනු ලැබුවේ නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගිනි. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය බහු ආගමික සහ බහු ජාතික ජන වර්ග ජීවත් වන අතර, සිංහල, දෙමළ සහ මුස්ලිම්, බර්ගර් යන ජන වර්ග සිටින අතර, ආගමික වශයෙන් ගත් කළ බෞද්ධ, කතෝලික, ඉස්ලාම්, හින්දු, වෙනත් වශයෙන් ආගමික ජන කොටස් වේ. ඒ අනුව මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය බහුවාර්ගික සහ බහු ආගමික කොට්ඨාශයක් බවට පත් වන අතර, මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හරහා පැරණි ඕලන්ද ඇල මාර්ගද පිහිටා ඇත.
භූ විෂමතා ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කිරීමේ දී ජලාශ්‍රිත කොටසක් හෙවත් වගුරු බිම් ප්‍රදේශ කිහිපයක් මෙම කොට්ඨාශයේ පවතින අතර, තොඩුවාව හා මහවැව අතර මහවැව නගරයේ සිට තොඩුවාව හරහා වයඹ සෙට විහිදෙන ඉරණවිල ග්‍රාමය දක්වා 25% ක් පමණ කරදියෙන් හෙබි කලපු ආශ්රිත ප්රදේශයකි. මෙම කොට්ඨාශයේ පස සම්බන්ධයෙන් සැලකීමේදී එහි සංයුතිය අනුව ප්‍රධාන වශයෙන් කලාප 05 කට බෙදා වෙන් කර හැකිය.
- සමුද්‍රාසන්න දුඹුරු පස
- සිලිකා මිශ්‍ර සුදු වැලි පස
- රතු දුඹුරු පස
- මැටි ලෝම පස
- දියළු පස.
මාරවිල වැල්ල, මෝදර වැල්ල, බරුදැල්පොල, තොඩුවාව වැනි වෙරලාශ්රිත ප්‍රදේශවල ලවණ මිශ්‍ර දුඹුරු වැලි මිශ්‍ර පස දක්නට ලැබේ. පුහුල්හේන, පහල වලහපිටිය ප්‍රදේශයේ සිලිකා මිශ්‍ර සුදු වැලි පසද, යටකලාන, මුට්ටිබැඳිවිල ප්‍රදේශයේ මැටි සහිත ලෝම පසද දක්නට ලැබේ.
ඓතිහාසික තොරතුරු කෙරෙහි අවධානය යොමු කිරීමේ දී පැරණි ලක්දිව පාලන බෙදීම් වන රුහුණු, පිහිටි, මායා යන කලාප වලින් මායා රටේ උතුරු දේශ සිමාවට සමීපව සලාපුරට (හලාවතට) අයත් වු මෙම භූමි ප්‍රදේශයේ පැරණි අනුරාධපුරය පොලොන්නරුව ආදී පාලන නගර වලින් බැහැරව පිහිටීම කරණ කොටගෙන, රාජ්‍ය පාලන ක්‍රියාවලියේ අඩු සැලකිල්ලක් ලද ප්‍රදේශයක් වශයෙන් අතීතයේ තිබු බව පෙනේ. පසුකාලීනව උතුරු මැද කලාපයෙන්, නිරිත දිගට වු සංක්රමණයෙන් පසුව ජනාවාස බවට පත් වූ මෙම ප්‍රදේශය විදේශීය (බටහිර) ජාතිකයන්ගේ නිරන්තර ඇසුරට පත්ව මිශ්‍ර ආර්ථික පසුතලයක් තුළ දිවිපෙවෙත ගෙවු ජනතාවක් විසූ බව ද පැහැදිලිය. ලක්දිව පාලන කටයුතු කෝට්ටේ රාජධානියට අයත් වූ පසු ක්‍රි.ව.1460 දී රාජ්‍යත්වයට පැමිණි පරාක්‍රමබාහුගේ ඥාතිවරයෙකු වු තනියවල්ලභ කුමරු මලාපුර මාදම්පේ (මහවැව ග්‍රාමයට ආසන්න ග්‍රාමයේ) ප්‍රාදේශීය රජෙකු ලෙස විසීය. මෙතුමා විසින් පොලොන්නරුවේ රාජ්‍ය පාලනය කළ මහා පැරකුම්බා රජතුමා විසින් දීප ව්‍යාප්තව සිදු කරන ලද වාරිමාර්ග පද්ධතියට අයත්ව තිබී නටඹුන් බවට පත් වාරිමාර්ගයක් වන කඩුපිටි ඔය හරස් කොට තැනූ විශාල වැව නිසා මෙම ප්‍රදේශය මහවැව නමින් හඳුන්වන්නට විය. දැදුරු ඔය අසබඩ දී සොලී සේනා හා සටන් කොට ජය රැගෙන ආපසු මහවැව මාලිගයට ආ තනියවල්ලභ රජු සතුරු උපක්‍රමයකට අසු වූවා යැයි රැවටී සිය දිවි නසා ගත් තම දේවිය වෙනුවෙන් තම ජිවිතය පුදන ලදි. එතුමාගේ අභාවයෙන් පසුව ප්‍රදේශයේ ජනයා තනියවල්ලභ රජුට දේවාලයක් තනවා තනියවල්ලභ දෙවියෝ නමින් පුදන්නට පුරුදු විය. අදත් දක්නට ලැබෙන සුප්‍රසිද්ධ මෙම දෙවොල මහවැවට ඓතිහාසික වටිනාකමක් ලබා දී ඇත.
එමෙන්ම මෙම කොට්ඨාශයේ උඩරට සහ පහතරට එළවළු වර්ග බහුළව වගා කෙරෙන අතරම, පළතුරු ආදියද බහුළව වගා කරනු ලැබේ. ධීවර කර්මාන්තය මූලික කරගත් ජනතාවක් මෙම කොට්ඨාශය රටේ ජාතික ආර්ථිකයට විවිධ පැතිකඩවලින් සුවිශාල දායකත්වයක් ලබාදෙන අතරම, පුත්තලම දිස්ත්‍රික්කයේ පවතින ආකර්ශණීයම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් අතර මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටද සුවිශේෂී තැනැක් හිමිවන බවද සඳහන් කළ හැකිය.
සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
මෙතෙක් සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| ඩබ්ලිව්.එල්.සී. ලෝව් මයා | ||
| ඊ. ඩබ්ලිව්. ඉලයප්ප ආරච්චි මයා | ||
| එන්.ඒ.ඒ. පුෂ්පකුමාර මයා | ||
| ඩබ්ලිව්.ජේ. ලෝව් මයා | ||
| චාල්ස් පෙරේරා මයා | ||
| එල්.ජේ.එම්.ජී.සී. බණ්ඩාර මයා | 2005.03.04 | |
| එච්.එම්.එස්.පී. හේරත් මයා | 2005.03.05 | 2006.05.02 |
| එම්.කේ. මුහයිස් මයා | 2006.05.03 | 2007.11.18 |
| එම්.එච්.එම්. රියාල්දීන් මයා | 2007.11.18 | 2011.06.05 |
| කේ.පී. රංගන ප්‍රනාන්දු මයා | 2011.06.06 | 2015.07.08 |
| එච්.එම්.එස්.පී. හේරත් මයා | 2015.07.09 | 2018.03.14 |
| එම්.එම්.එන්. සෝමතිලක මයා | 2018.03.15 |















